පිරිමිත් නොවන - ගැහැණුත් නොවන අය ගැන ඇත්තම කතාව.


ලිංගිකත්වය යනු පිරිමි හා ගැහැණු පමණක්ම නොවේ.

ස්ත්‍රී හෝ පුරුෂ යන ස්ථීර කාණ්ඩ දෙකට නිසැකයෙන්ම අයිති නොවන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවන් අද ඊයේ කතාකරන්නට පටන්ගත් මාතෘකාවක් ලෙස හැඳින්වීමට බොහෝ අය උත්සාහ කළත් විවිධ සංස්කෘතීන්, විවිධ ආගම් ඉතිහාසයේ සිට ප්‍රතීයමාන කරමින් සිටින්නේ වර්තමානය මෙන්ම අතීතයේද එවැනි අනන්‍යතාවන් සහිත මිනිසුන් සිටි බවයි. ඔවුන් සම්මත යැයි පැවසෙන ස්ත්‍රී පුරුෂ නොවන භූමිකාවන් සැමරූ බව හා ඒ අනුව ජීවත් වූ බවයි. මැඩගස්කරයේ සිට ඩොමිනිකන් සමූහාණ්ඩුව දක්වා ලෝකය තුළ තුන්වන ලිංගිකත්වයක් පිළිබඳ මතවාද පළකෙරෙන අතර ස්ත්‍රී හෝ පුරුෂ නොවන තුන්වන පාර්ශ්වයක් පිළිබඳ මෙන්ම සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව හෙවත් විවිධ ලිංගික අනන්‍යතා සහිත කණඩායම් ගැන ක්‍රිස්තු පූර්ව 2000වැනි කාලසීමාවකටත් එහා ගිය ඊජිප්තු ඉතිහාසයේ ඔවුන්ගේ කලා නිර්මාණ තුළින් හමුවේ. එහෙත් ස්ත්‍රී හෝ පුරුෂ යනුවෙන් විශේෂයෙන් හඳුන්වා නොගත් කණ්ඩායම් සම්බන්ධ ඉතිහාසය වර්තමාන හා අතීත වශයෙන් සිදුවුණු හා සිදුවන සංස්කෘතික වාරණයන් මගින් යටපත් කර දමා තිබේ. එසේත් නැතහොත් ඊනියා සදාචාරය විසින් වසාදමා තිබේ. මෙයට හේතුව සංස්කෘතික චින්තනයන් විසින් විවිධ ලිංගික අනන්‍යතා හා විවිධ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා තේරුම්ගත් ආකාරය, ඒවාට අර්ථ නිරූපණ ඉදිරිපත් කළ ආකාරය නිවරැදිව වර්ගීකරණය වර්ගීකරණය කිරීමට අසමත් වීමයි.

සමාජ හා සංස්කෘතික අගයයන්, වටිනාකම් සියල්ල රැඳී ඇත්තේ ස්ත්‍රී පුරුෂ ලිංගික පැවැත්ම මත නිසා ස්ත්‍රී හෝ පුරුෂ යන ලිංගිකත්වයන් එකක් පමණක් පිළිනොගන්නා හෝ එම ලිංගිකත්වයන් දෙකටම අන්ව පෙනී සිටින කණ්ඩායම් සැලකෙන්නේ සමාජ අපගාමීන් ලෙසය. සිංහල සමාජ ක්‍රමයට අනුව ඔවුන් සැලකෙන්නේ කාලකන්ණින්, පව්කාරයින්, සමාජ විරෝධී චර්යාවන්හි යෙදෙන්නන් ලෙසය. එහෙත් සොකරි , පහත රට නැටුම්, නොන්චි කෝලම, මිනර්වා නාට්‍ය කලාව, අට සන්නියෙහි එන පත්තිනි නැටුම, සළුපාලිය හා පුරාණ පත්තිනි දේවාල වල පත්තිනි දේවතාවිය ලෙස කපු මහත්වරුන් සැරසීම යනාදිය විරුද්ධ ලිංගික ඇඳුම්, පැළඳුම්, ආභරණ හා වත්සුණු තැවරීම් ලෙස පමණක් සැලකිය නොහැකිය. එය විරුද්ධ ලිංගික ඇඳුම් ඇඳීමක් ( Cross Dressing) හා කලාවේ නාමයෙන් විරුද්ධ ලිංගිකයෙකු ලෙස අනුකරණයෙන් හැසිරීමයි. කලාව ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යයේදී ස්ත්‍රී හෝ පුරුෂ යන සම්මතයන් බිඳ දමමින් හරස් විලාසිතාවන් සිදුකළද සමාජ සම්මත රේඛාවෙන් පනිමින් කලාව අතික්‍රමණය කිරීමට මිනිසාට අවසර නැත. තවමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ගෝලීය අර්ථකථන මගින් ලිංගිකත්වය හා අනන්‍යතාවන් සම්බන්ධ තත්ත්වයන් වර්ගීකරණයට ලක්කරන්නේ කරුණු නිසි ආකාරයෙන් දැන හෝ පර්යේෂණය කිරීමෙන් නොවේ. විශේෂයෙන් ආගමික මතිමතාන්තර මගින් පුද්ගල අනන්‍යතා අර්ථකථනය කර ඇති ආකාරයත්, ඒ මත පිහිටා සමාජ අනන්‍යතාවන් නිර්මාණය වන ආකාරයත් සලකා බැලිය යුතුය. ක්‍රිස්තියානි ආගමට අනුව පුරුෂයා හා ස්ත්‍රිය සම්බන්ධව පවතින අනිවාර්ය සම්මතය වෙනස්කරමින් ඒ දෙක මැද පිහිටන හෝ ඒ දෙක අතික්‍රමණය කරන පුද්ගලයෝ පවට හා නිරයට මාර්ගය තනා ගනිති. ඉස්ලාම් ආගමට අනුව ගල් වරුසාවකට අසුව මිය යාමට තරම් පාපයකි. වර්තමානයේදී එය ගල් ගසා මරාදැමීම යනුවෙන් අර්ථකථනය කරගෙන ඇත. එහෙත් යුදෙව්, ෂින්ටෝ, කොන්ෆියුසියස් හා හින්දු වැනි ආගම් හා දර්ශනයන් විසින් ස්ත්‍රී හෝ පුරුෂ ලෙස හඳුනා නොගන්නා තුන්වන ලිංගිකයින් වෙනස් බලයක් නැතහොත්, ආධ්‍යාත්මික බලයක් ඇති අය ලෙස විශ්වාස කරයි. හින්දු දර්ශනයෙහි ශිව හා පාර්වතී යන දෙදෙනාම නිරූපණය කෙරෙතියි සැලකෙන අර්ධ නාරී දේව සංකල්පයත් ජපානයේ ෂින්ටෝ ආගම මගින් ගැහැණු සංක්‍රාන්ති ලිංගිකයින් මිනිස් අර්ධයක් හා නාග අර්ධයක් සහිත සම්භවයක් පිළිබඳ අදහසත් මගින් යම් ආකාරයක ආගමික හා සංස්කෘතික වටිනාකමක් ඇති කිරීමට උත්සාහ දරා ඇත. නූතන සමාජය විසින් අශිෂ්ටත්වය යැයි පිළිගන්නා බොහෝ දේ ඉතිහාසය තුළ පැවත ඇතැයි සාක්ෂි සපයන්නේ එමගින් ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා සම්බන්ධව ප්‍රති අර්ථකථනවල අවශ්‍යතාවය පෙන්වා දෙමිනි.

වකාෂු - ජපානය


ජපන් සංස්කෘතියේ “වකාෂු” හෙවත් “ ලස්සන තාරුණ්‍යය” යන්න පුළුල් ලෙස අනුමත කරන ලද තුන්වන ලිංගිකත්වයක් පිළිබඳ අදහසක් කියාපායි. ක්‍රි.ව 1603 ත් 1868 ත් අතර පැවති එඩෝ හෙවත් ටොකුගවා යුගයේදී වකාෂු ලිංගිකයින් පිළිගැනීමට ලක්ව තිබේ. වකාෂු යනු බාහිර පෙනුමෙන් හා හැසිරීමෙන් පිරිමින් හෝ ගැහැණු යයි වෙනස්කොට හඳුනාගත නොහැකි නාඹර තරුණයින් වන අතර උකියෝ පින්තාරු කලාව තුළ ඔවුන් විනෝදකාමී, රාගික හා නාරි ලාලිත්‍යමය ආකාරයෙන් පින්තාරු කර තිබේ. ජපන් සංස්කෘතිය ඔවුන් ගැහැණු හා පිරිමින්ගේ ආශාවන් සම්බන්ධ වස්තුවක් ලෙස ආලේඛ්‍ය කර තිබෙන අතර බටහිර සංස්කෘතිය හා නූතනත්වය පැමිණීමත් සමග එම සම්ප්‍රදායයන් වියැකී ගොස් ඇත.

මහූ - හවායි


ස්වදේශීය හවායි සංස්කෘතියට අනුව “මහූ” යනු පිරිමි හා ගැහැණු යන දෙදෙනාගේම ආධ්‍යාත්මයන් මූර්තිමත් කෙරෙන මිනිසුන් වේ. පුරුෂ වශයෙන් හෝ ස්ත්‍රී වශයෙන් වෙන වෙනම හඳුනාගන්නවාට වඩා ඔවුන් මහූ යන පුද්ගලයින් ස්ත්‍රී හා පුරුෂ යන දෙපාර්ශ්වයම සම සමව නියෝජනය කරන අලංකාරත්වයේ හා මටසිළුටුකමේ සංකේතයක් ලෙස හඳුනාගනිති. ඔවුන් සමාජයේ කොටසක් ලෙස පිළිගන්නවා පමණක් නොව ස්වදේශික හවායි වැසියන් විසින් මහූවරුන් යනු සඵලතාවයේ හා නම්‍යශීලීත්වයේ සංකේතයක් ලෙස තේරුම්ගැනීමට උත්සාහ කර තිබේ. මහූවරුන්ගේ වෙනස්භාවය ප්‍රශ්නයක් ලෙස බැලීමට වඩා ඔවුන් සතු ද්විත්ව ආධ්‍යාත්මය මගින් එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න විසඳාගැනීමට උදව් ලබාගත හැකි ආකාරයත්, ඔවුන් සතු ශෝභනත්වය මගින් සමෘද්ධිය ළඟාකරගත හැකි ආකාරයත් කෙරෙහි අවධානය යොමුකර තිබේ.

මුක්ෂස් - මෙක්සිකෝ


මුක්ෂස්වරුන් යනු මෙක්සිකෝහි තුන්වන ලිංගිකත්වයක් හෙවත් පිරිමි හා ගැහැණු යන සම්මත ස්ත්‍රී පුරුෂ සමාජභාවයට වඩා වෙනස් කණ්ඩායමක් හැඳින්වීමට යොදාගන්නා පදයකි. මුක්ෂස් යන්නද සාම්ප්‍රදායිකව පුරුෂ හෝ ස්ත්‍රී යන දෙක හෝ සමරිසි- විෂමරිසි යන කාණ්ඩ දෙක හෝ පැහැදිලි කරන පදයක් හෝ අර්ථයක් නොවන අතර ඊට වඩා වෙනස් අර්ථයක් සහිත භාවිතා වූවකි. විශේෂයෙන් ලිංගික අර්ථයට වඩා සමාජයට ඔවුන් විසින් දැක්වූ දායකත්වය වඩාත් අවධාරණය කෙරෙන මෙම කොට්ඨාශය කලාකාමී හැකියාවන්වලින් යුක්ත අය යැයි පැවසේ. ස්වදේශීක ජනතාව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවන් විශ්වාස නොකළ අතර රෙදි විවීමට විවිධ මෝස්තර නිර්මාණයට හැකියාවෙන් යුක්ත හා විශේෂයෙන් වයස 70 ක් පමණ වැන වියපත් වැඩිහිටියන් බලාගැනීම වෙනුවෙන් කැපවෙන මෙම ජන කොට්ඨාශයට විශේෂ පිළිගැනීමක් සහිතව ජීවත්වීමට අවස්ථාව සලසා දුන් බව පෙනේ.

භිස්සූ - ඉන්දුනීසියාව


බාහිරින් පිරිමි හා ආධ්‍යාත්මයෙන් ගැහැණු නැතහොත් ශක්තිය හා ලාලිත්‍යය එසේත් නැතහොත් දරදඞුභාවය හා කරුණාව මූර්තිමත් කරන “භිස්සූ” යනු ඉන්දුනීසියාවේ වෙසෙන විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව අතර විශේෂ තැනක් ගන්නා ප්‍රජාවක් වේ. ඔවුන් තමන්ට විරුද්ධ ලිංගිකයින් හෙවත් ස්ත්‍රීන් මෙන් ඇඳුම් අඳින අතර ඇත්ත එය හරස් විලාසිතාවක් කිරීමම නොව ඔවුන්ටම ආවේණික ඇඳුමකින් සැරසීමකි. එය පුරුෂ හා කාන්තා යන දෙපැත්තම විටින් විට මාරුවන භූමිකාවක් වන අතර ඉන්දුනීසියාවේ විවිධ අත්සව හා විශේෂයෙන් සුබ පැතීම්, ආශිර්වාද කිරීම් යනාදියේදී පෙරමුණ ගන්නා ප්‍රජාවක් ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව ගත්කල තුන්වන ලිංගිකත්වයක් ලෙසද සැලකිය හැකි මෙම ප්‍රජාව ඉන්දුනීසියාවේදී අර්ථකථනය වන්නේ සංස්කෘතික අර්ථකථනයෙනි.

කවාජා සිරා - පාකිස්ථානය


පාකිස්ථානයේ තනි තනි පුද්ගලයින් ලෙස හඳුනාගැනෙන “කවාජා සිරා” නම් පුද්ගලයින් සමාජය තුළ බොහෝ හිරිහැරයට ලක්වෙන පිරිසක් ලෙස හඳුන්වාදීම වැරදි නැත. “ දෙවියන්ගේ ලද ත්‍යාගයක්” ලෙස විටෙක අර්ථකථනයට හා පැසසුමට ලක්වෙන ඔවුන්වම විටෙක දරුණු ආකාරයෙන් හිංසනයට හා වෙනස්කොට භාජනය කිරීමට ලක්වේ.

කවාජා සිරා පුද්ගලයින් පාකිස්ථානයේදී ඔවුන්ගේ පවුල්වලින් නෙරපා හැරෙන අතර පවුල් වලින් පමණක් නොව සම්පුර්ණ පරම්පරාවෙන්ම, සමූල ඥාතී සමූහයාගෙන්ම පළවා හැරේ. ඔවුන්ගේ ගුරු හා ගෝල සම්බන්ධතාවලින් පවා එළවා දැමෙන මෙම ප්‍රජාව පාකිස්ථාන සමාජය තුළ බොහෝ හිරිහැර වලට ලක්වන පිරිසක් වේ. පාකිස්ථානය තුළ සංක්‍රාන්ති ලිංගික හා සංක්‍රාන්ති සමාජභාවීය මානව හිමිකම් ව්‍යාපාරය ගොඩනැගෙන්නේ ඉතා මන්දගාමීව නිසා කවාජා සිරාවරුන් පැරණි චාරිත්‍රයක් ලෙස වෙන්කර හඳුනාගැනේ. ඔවුන් මුස්ලිම්වරුන් නොවන අතර රාම දෙවියන් අදහන පැරණි හින්දු ආගමට ගරුකරන හා අදහන පිරිසක් ලෙස ප්‍රචලිතව ඇත.

ඕමානයේ ෂනිත්වරුන්, ඊජිප්තුවේ සෙක්හෙට්වරුන්, ඉන්දියාව සහ ගිණිකොණදිග ආසියාවේ හිජ්රාවන් සහ තායිලන්තයේ කතෝයි ඇතුළු තුන්වන ලිංගිකත්වයේ තවත් සංයුතියක් පිළිබඳ මෙම ලිපියේ දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

- තුෂාර මනෝජ්

No comments:

Post a Comment